සුනිල තරු කැට වසා නෙත් යට
සිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට
නිදන පුතු දෙස බලා හිඳුමද
මේ ජීවිතය දැල්වෙන මැටි පහනක් ය
තෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක් ය
පින් මදි වෙද්දි එන මරණය සුළඟක් ය
පව් පළ දෙන්න යන්නේ එක ක්ෂණයක් ය
සසරේ නවාතැන් නම් සිය දහක් ඇත
ටික කාලෙකට හමු වෙන සගයිනුත් වෙත
එනමුත් ගමන යන්නේ තනිවමයි පුත
"මම" යැයි "මගේ" යැයි මට කිසි දෙයක් නැත
නිවි නිවි යළිත් දැල්වෙන ජීවිත පහන
වැටි වැටි යන්ට දඟලන සසරේ ගමන
අර ගෙන යන්න ඇත්තේ කළ පින පමණ
යළි නොහැරෙන්ට යා යුතු ගමනකි "නිවන"
© Kalani Ruwanpathirana
-2019.10.14
රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී
කදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී
බිඳී ඉහිරුණු සිත් සතන් යළි - බැඳී දෙරණතට ම නැවී
ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී
අපේ "නෑ පරපුරක්" එකවර - සුසානෙක නිහඬ ව නිදී
ගලා ගිය උණු කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී
බුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී
මැකී යයි රුදු සපුන් සහ මැති සබේ මිසදිටු බල බිඳී

සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි
පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි
ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි
පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි
ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි
සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි
වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි
දුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි
මුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි
සුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි
එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි
රුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි
කසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි
රදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි
තුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි
රනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි
මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී
පියා විදා රණ හසුන් කැලක් සේ
එන්න තවත් නොරැඳී
මා සිත් කව ඈ වෙත ගෙන යන්නට
එන්න තවත් නොරැඳී
තනි තරුවකි ඈ හා දොඩමළු වන
කළුවර රෑ අහසේ
ඈට හිතැති මට හිත නැති තරුවට
මේ දුක කියමි කෙසේ...
තුඩගින් ඈ වෙත මුවරද ගෙන යති
බඹරුන් හොර රහසේ
මලින් මලට පියඹන බඹරෙකු හට
මේ කව කියමි කෙසේ...
© Kalani Ruwanpathirana
-2007
වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද
අත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද
ඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද
පැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද
මේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද
පහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද
කවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද
ලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද
මං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද
Copyright 2009 - කව් මුතු | Sinhala Poems
Theme designed by: Raycreations.net, Ray Hosting, Distributed by Bloggerthemes