සුනිල තරු කැට වසා නෙත් යට
සිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට
නිදන පුතු දෙස බලා හිඳුමද
මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී
පියා විදා රණ හසුන් කැලක් සේ
එන්න තවත් නොරැඳී
මා සිත් කව ඈ වෙත ගෙන යන්නට
එන්න තවත් නොරැඳී
තනි තරුවකි ඈ හා දොඩමළු වන
කළුවර රෑ අහසේ
ඈට හිතැති මට හිත නැති තරුවට
මේ දුක කියමි කෙසේ...
තුඩගින් ඈ වෙත මුවරද ගෙන යති
බඹරුන් හොර රහසේ
මලින් මලට පියඹන බඹරෙකු හට
මේ කව කියමි කෙසේ...
© Kalani Ruwanpathirana
-2007
ඈත සිට ආ සුවඳ ඔබමය
සීත අරණේ සුලඟ ඔබමය
නීල නිලුපුල් මල ද ඔබමය
මසිත දැල්වුන පහන ඔබමය
ඈත සිට විත් සුවඳ දී මට
මටත් රහසෙම දුර ගියා නුඹ
සිසිල පුදදී දැවුනු කතරට
මද සුලඟ වී නික්මුණා නුඹ
මදින් මද විකසිත ව මා සිත
කිසිත් නොකියා මිලින විය නුඹ
උදා ගිර ලා එලිය විහිදන
හිරු ට ඉඩ දී සැඟවුනා නුඹ
මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ
කෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ
නිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ
මලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ
විලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්
මලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්
විලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්
මගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්
මගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්
මලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්
නුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්
මලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්
රුවන් තරුවක් යදින අහසකි
අහස ඔබ නම් තරුව මම වෙමි
අඳුරු අහසේ දිලෙමි තනි වී
අඳුර නොමියේ නම්
පහන් සිළුවක් පතන පහනකි
පහන ඔබ නම් පහන් සිල වෙමි
සදා ඔබ ලඟ හිඳිමි නොනිවී
පහන නොසැලේ නම්
නොනිමි සයුරක් සොයන ගඟුලකි
ගඟුල ඔබ නම් සයුර මම වෙමි
බලා හිඳිනෙමි සයුරු තෙර වී
ගඟුල නොසිඳේ නම්
Labels: engineering , love , poem , sinhala , university of moratuwa
Copyright 2009 - කව් මුතු | Sinhala Poems
Theme designed by: Raycreations.net, Ray Hosting, Distributed by Bloggerthemes