Posted by
kalani Ruwanpathirana
Wednesday, August 11, 2010
සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි
පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි
ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි
පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි
ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි
සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි
වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි
දුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි
මුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි
සුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි
එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි
රුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි
කසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි
රදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි
තුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි
රනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි
© Kalani Ruwanpathirana
-2002
Posted by
kalani Ruwanpathirana
Friday, June 11, 2010
මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී
පියා විදා රණ හසුන් කැලක් සේ
එන්න තවත් නොරැඳී
මා සිත් කව ඈ වෙත ගෙන යන්නට
එන්න තවත් නොරැඳී
තනි තරුවකි ඈ හා දොඩමළු වන
කළුවර රෑ අහසේ
ඈට හිතැති මට හිත නැති තරුවට
මේ දුක කියමි කෙසේ...
තුඩගින් ඈ වෙත මුවරද ගෙන යති
බඹරුන් හොර රහසේ
මලින් මලට පියඹන බඹරෙකු හට
මේ කව කියමි කෙසේ...
© Kalani Ruwanpathirana
-2007
Posted by
kalani Ruwanpathirana
Wednesday, April 21, 2010
වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද
අත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද
ඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද
පැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද
මේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද
පහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද
කවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද
ලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද
මං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද
© Kalani Ruwanpathirana
--April 2010
Posted by
kalani Ruwanpathirana
Monday, April 19, 2010
ඈත සිට ආ සුවඳ ඔබමය
සීත අරණේ සුලඟ ඔබමය
නීල නිලුපුල් මල ද ඔබමය
මසිත දැල්වුන පහන ඔබමය
ඈත සිට විත් සුවඳ දී මට
මටත් රහසෙම දුර ගියා නුඹ
සිසිල පුදදී දැවුනු කතරට
මද සුලඟ වී නික්මුණා නුඹ
මදින් මද විකසිත ව මා සිත
කිසිත් නොකියා මිලින විය නුඹ
උදා ගිර ලා එලිය විහිදන
හිරු ට ඉඩ දී සැඟවුනා නුඹ
© Kalani Ruwanpathirana
-2004
Posted by
kalani Ruwanpathirana
Monday, February 22, 2010
මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ
කෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ
නිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ
මලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ
විලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්
මලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්
විලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්
මගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්
මගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්
මලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්
නුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්
මලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්
© Kalani Ruwanpathirana
-2007
Posted by
kalani Ruwanpathirana
Friday, February 19, 2010
නොතිර දියත පෙනෙන ඉමක
නොමැත සදා සුපිපි මලක්
නොනිම් ගගන කිනම් තැනක
වෙයිද සදා දිලෙන සඳක්
සදොස් මඩින් මිදී පිපෙන
නෙළුම දනී විලක තරම
මලින් මලට පියා සලන
බිඟු නොදනී මලක අරුම
වෙසෙස් විලෙන් මිදී සරන
සියොත් දනී ලොවක අරුම
විලෙහි ඉපිද විලෙහි මියෙන
තඹුරු දනිත් එලොව කොහොම
© Kalani Ruwanpathirana
- 2006
Posted by
kalani Ruwanpathirana
ගිනි ගත් නුවර කොනේ
සිර වූ කිරිල්ලියේ
විදා පියාපත් - ඉතින් පියාඹන්
දළු ලන තුරු අතරේ
මියුරු සත්සර නගයි තුරුසිර
නොමැත පද වැල් කම් නැතී
නොයෙක ගහ කොළ සලයි සිහිලස
නැතිඳු චාමර කම් නැතී
ගිනි ගත්.....
පියුම් පිස ගෙන හමයි මද නල
නැතිඳු විලවුන් කම් නැතී
සුවඳ දී නිති පිපෙයි කඩුපුල්
මිලින වෙයි හෙට කම් නැතී
© Kalani Ruwanpathirana
P.S. This was written when I was in school. It was composed and sung by Ms. Ramya Lalani , a music teacher at
Sujatha Vidyalaya, Matara. This song was broadcast on "Ruhunu Sevaya" (a regional service of
SLBC).
Posted by
kalani Ruwanpathirana
Thursday, February 18, 2010
සැඳෑ හිරු මියෙන සඳ
උදා වනු කිමද සඳ
උදා හිරු නැගෙන සඳ
පලා යනු කිමද සඳ
නිදන සඳ මහී ලඳ
උදා වන සරා සඳ
පොකුරු තරු පිපෙන සඳ
සිනාසෙයි රුසිරු විඳ
සැලෙන මල් කැකුළු කොඳ
රැහැයි නද වූ නො මද
නිවී දිදුලන තරු ද
දුබල යැයි කියයි සඳ
නමුදු ඝණඳුර නො මද
කැළුම් දී මදින් මද
නසන සඳ වී සු හද
නුඹම වේ මගේ සඳ
© Kalani Ruwanpathirana
--1998
Posted by
kalani Ruwanpathirana
රුවන් තරුවක් යදින අහසකි
අහස ඔබ නම් තරුව මම වෙමි
අඳුරු අහසේ දිලෙමි තනි වී
අඳුර නොමියේ නම්
පහන් සිළුවක් පතන පහනකි
පහන ඔබ නම් පහන් සිල වෙමි
සදා ඔබ ලඟ හිඳිමි නොනිවී
පහන නොසැලේ නම්
නොනිමි සයුරක් සොයන ගඟුලකි
ගඟුල ඔබ නම් සයුර මම වෙමි
බලා හිඳිනෙමි සයුරු තෙර වී
ගඟුල නොසිඳේ නම්