මලට හිමි නැති මගේ විල නුඹ | Faith of Love

මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ
කෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ
නිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ
මලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ

විලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්
මලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්
විලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්
මගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්

මගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්
මලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්
නුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්
මලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්

© Kalani Ruwanpathirana
-2007

ලොවක අරුම | World


නොතිර දියත පෙනෙන ඉමක
නොමැත සදා සුපිපි මලක්
නොනිම් ගගන කිනම් තැනක
වෙයිද සදා දිලෙන සඳක්

සදොස් මඩින් මිදී පිපෙන
නෙළුම දනී විලක තරම
මලින් මලට පියා සලන
බිඟු නොදනී මලක අරුම

වෙසෙස් විලෙන් මිදී සරන
සියොත් දනී ලොවක අරුම
විලෙහි ඉපිද විලෙහි මියෙන
තඹුරු දනිත් එලොව කොහොම


© Kalani Ruwanpathirana    
- 2006

ගිනි ගත් නුවර | Burning City

ගිනි ගත් නුවර කොනේ
සිර වූ කිරිල්ලියේ
විදා පියාපත් - ඉතින් පියාඹන්
දළු ලන තුරු අතරේ

මියුරු සත්සර නගයි තුරුසිර
නොමැත පද වැල් කම් නැතී
නොයෙක ගහ කොළ සලයි සිහිලස
නැතිඳු චාමර කම් නැතී

ගිනි ගත්.....

පියුම් පිස ගෙන හමයි මද නල
නැතිඳු විලවුන් කම් නැතී
සුවඳ දී නිති පිපෙයි කඩුපුල්
මිලින වෙයි හෙට කම් නැතී


© Kalani Ruwanpathirana

P.S. This was written when I was in school. It was composed and sung by Ms. Ramya Lalani , a music teacher at Sujatha Vidyalaya, Matara. This song was broadcast on "Ruhunu Sevaya" (a regional service of SLBC).

සරා සඳ | Weak Moon



සැඳෑ හිරු මියෙන සඳ

උදා වනු කිමද සඳ
උදා හිරු නැගෙන සඳ
පලා යනු කිමද සඳ


නිදන සඳ මහී ලඳ
උදා වන සරා සඳ
පොකුරු තරු පිපෙන සඳ
සිනාසෙයි රුසිරු විඳ


සැලෙන මල් කැකුළු කොඳ
රැහැයි නද වූ නො මද
නිවී දිදුලන තරු ද
දුබල යැයි කියයි සඳ


නමුදු ඝණඳුර නො මද
කැළුම් දී මදින් මද
නසන සඳ වී සු හද
නුඹම වේ මගේ සඳ

© Kalani Ruwanpathirana
--1998

පහන නොසැලේ නම් | The Rigid Love

රුවන් තරුවක් යදින අහසකි
අහස ඔබ නම් තරුව මම වෙමි
අඳුරු අහසේ දිලෙමි තනි වී
අඳුර නොමියේ නම්

පහන් සිළුවක් පතන පහනකි
පහන ඔබ නම් පහන් සිල වෙමි
සදා ඔබ ලඟ හිඳිමි නොනිවී
පහන නොසැලේ නම්

නොනිමි සයුරක් සොයන ගඟුලකි
ගඟුල ඔබ නම් සයුර මම වෙමි
බලා හිඳිනෙමි සයුරු තෙර වී
ගඟුල නොසිඳේ නම්

© Kalani Ruwanpathirana

P.S. This was written for 2005 Freshers Nite souvenir(held by Batch 04, Faculty of Engineering, UOM)

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....