මං නැති අවුරුදු | Lonely Newyear

වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද

අත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද
ඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද
පැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද
මේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද

පහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද
කවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද
ලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද
මං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද


© Kalani Ruwanpathirana
--April 2010

නොකියූ කව | The Unsaid

ඈත සිට ආ සුවඳ ඔබමය              
සීත අරණේ සුලඟ ඔබමය
නීල නිලුපුල් මල ද ඔබමය
මසිත දැල්වුන පහන ඔබමය

ඈත සිට විත් සුවඳ දී මට
මටත් රහසෙම දුර ගියා නුඹ
සිසිල පුදදී දැවුනු කතරට
මද සුලඟ වී නික්මුණා නුඹ

මදින් මද විකසිත ව මා සිත
කිසිත් නොකියා මිලින විය නුඹ
උදා ගිර ලා එලිය විහිදන
හිරු ට ඉඩ දී සැඟවුනා නුඹ

© Kalani Ruwanpathirana
-2004

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me

.....