දැන් මට නැහැ ඉඩ

හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ 

බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ 
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ 
මල් මොකටද මට හිතෙනව විඩ විඩ 

වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ 
පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ 
බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ 
අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ 

ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි 
ඉගිලෙන විට කොක් තටු සුදු පාටයි 
හබරණ ආතගෙ කට රතු පාටයි 
කියවන විට පුතු හරි දඟ පාටයි  

බින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් 
අපට පෙනෙන්නට වටයක් නටපන් 
කුහූ කියා කොවුලෝ ගී කියපන් 
මදිනම් තව මල් වැස්සක් වැහැපන් 

කොඳ මල මුදුනේ මී මැසි සාදෙට 
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට 
මගෙ හිත පුරවන ටිකිරි හිනාවට 
පණ දෙමි මම දිවි තියෙන තුරාවට


© Kalani Ruwanpathirana

-2014.11.07

Related Posts with Thumbnails

About this blog

I am Kalani Ruwanpathirana, from Sri Lanka. This blog is reserved for Sinhala poems written by me